ආදරණිය ගුරුතුමිය

23

Category :



ඔන්න ඉතින් කුබුවියා ඉස්සෙල්ලෝම ඉස්කෝලෙකට ඇතුල් උනේ ගමේ තියෙන් කණිටු විදුහලට.ඒක ගොඩාක් හොඳයි.මිස්ලා සර්ලා හැමෝම මට ආදරේයි.මම හැමදාම පන්තියේ පළවෙනියා.. JJ ඉතින් අපේ අම්මටයි තාත්තටයි ඕන උනා මාව කිට්ටුව තිබුනු ටිකක් ලොකු ඉස්කෝලෙකට දාන්න.ඉතින්  ඒක නිසා හතර වසරේදි මම ගියා අලුත් ඉස්කෝලෙට.දිගටම පංතියේ පළවෙනියා වෙවී හිටපු මට ඊට පස්සේ ටිකක් පල්ලම් බහින්න සිද්ධ වුනා. L

ඉගෙන ගන්න ටිකක් දක්ෂ ළමයෙක් විදියට ගුරුවරු මාව ඇදින්නුවත් මට ඉගෙන ගන්න මහා ලොකු වුවමනාවක් තිබුනෙම නෑ.ඉතින් පාඩම් වැඩයි ජල්තරස් වැඩයි හැමදේම අතරේ ටිකෙන් ටික කාලය ගෙවිලා ගියා.මම ගණන් වලට ටිකක් ආස උනත්  විද්‍යාව නම් දිරෙව්වේම නැති තරම්.ඒක එපා වෙලා තිබුනේ.ඔන්න ඔය අතරේදි තමයි ඩීශානා අල්ගම මිස් අපේ ඉස්කෝලෙට ආවෙ.මිස් තමයි නමය වසරෙදි අපිට  විද්‍යාව උගන්වන්න දාලා තිබුනේ.

ඩීශානා මිස් උගන්වන විදිය ගොඩක් වෙනස්.ගොඩක් මහන්සි වෙලා උගන්වනවා.පන්තියේ එක ළමයෙකුට හරි තේරෙන්නේ නෑ කියලා හිතුනොත් ආයේ මුල ඉඳලා හරි පාඩම කරනව. වගේ කැප කිරීමක් කලේ.කවදාවත් කිසිම ළමයෙකුට ගහනව හරි බනිනව හරි මම දැකලා නෑ.ඒත් වෙන පීරියඩ් වල කරන්න තියෙන හැම ජල්තරස් වැඩක්ම කරන අපේ එවුන්( මමද ඇතුලුව :)  ) කවදාවත් මිස්ගේ පීරියඩ් එකේදි පිස්සු කෙළියෙ නෑ.

ඒකට හේතුවක් තිබුනා.ඩීශානා මිස් උගන්වන්න ආපු මුල් දවසක මිස් පන්තියෙ උගන්වද්දි අපි මොකක් හරි වෙන වැඩක් කර කර හිටියා පාඩම අහගෙන ඉන්නේ නැතුව.එදා මිස් අපිට ගොඩාක් වෙලා කතා කලා බොක්කටම.එදා මිස් අපිට බැන්නා නම් ඒක එවෙලේම අමතක වෙන්න තිබුනා.ඒත් මිස් අපිට බැන්නේ නෑ වචනයක්වත්.ගොඩාක් හොඳින් කිව්ව"පුතේ මම මේ තරම් මහන්සි වෙලා උගන්නද්දි ඇයි ඔයාල වෙන වැඩ කරන්නේ "කියලා.මිස් කතා කරලා ඉවර වෙනකොට මිස්ගේ ඇස් වල කඳුලු පිරිලා.එදා මට මම ගැන පුදුම කලකිරීමක් ඇති උනා.මම හිතා ගත්තා මිස් උගන්වන හැම දෙයක්ම පුලුවන් තරම් හොඳින් ඉගෙන ගන්නවා කියලා. මිස් දෙන වැඩ විතරක් නෙමේ අනිත් විෂයනුත් වුවමනාවෙන් කරන්න ගත්තා.(එදායින් පස්සේ කවුරුවත් මිස්ගේ පීරියඩ් එකේදි හොඳට හිටියා.)

ඉතින් කොහොමින් කොහොම හරි වාර විභාගේත් ආවා.වෙනදට වඩා හොඳට පංතියේ වැඩ කරපු නිසා මට  විද්‍යාව පේපර් එක අමාරු උනේ නෑ,(ජීවිතේ පළමු වතාවට J ) .
පේපර් බලලා ලකුණු දීපුවාම මට තමා වැඩිම ලකුණු තිබුනේ පන්තියෙන්ම.අනූ ගානක් තිබුනා...  ඒක කියනකොට මගේ හිතේ ඇතිවෙච්ච සතුට වගේ සිය දහස් ගුණයක සතුටක් මම දැක්කා ඩීශානා මිස්ගේ ඇස් වල.පංතියේ හැමෝටම වගේ  විද්‍යාවට හොඳට ලකුණු තිබුනා.

ඉතින් වාර අවසානයේදි පංතියේ පළවෙනියා,දෙවෙනියා හා තුන්වෙනියාට  රිපෝට් එක දෙන්නේ  ප්‍රධාන රැස්වීමක් අරගෙන.හය වසරේ ඉඳලා දහ තුන වසර වෙනකම් ළමයි ඔක්කොමයි ගුරුවරු හැම දෙනාමයි එදාට රැස්වීමට එනවා.ලවුඩ්ස්පීකර්  එකෙන් නම කියවෙත්දි අනිත් ළමයි අතරින් ඉස්සරහට ගිහින්  ප්‍රින්සිපල් සර්ගේ අතින් රිපෝට් එක ගන්න ළමයි ගොඩක් ආඩම්බරෙන් තමා ආපහු පේලියට එන්නේ.

මටත් වොලිබෝල් කලාප තරඟ වලින් දිනපු එකට සහතිකයක් තියෙන නිසා ඒක ගන්න යන්න ගොඩක් නොයිවසිල්ලෙන් හිටියේ.ඔන්න ඉතින් නමය වසර E පන්තියේ  කියන්නේ අපේ පන්තියෙ තුන් වෙනියට අදාල රිපෝට් එක දෙන්න නම කිව්ව.සුපුරුදු විදියට අපේ පන්තියේ ගොඩක් දක්ෂ ගෑනු ළමයින්ගෙන් එක්කෙනෙක් ඉස්සරහට ගිහින් රිපෝට් එක අරගත්ත.

ඒට පස්සෙ දෙවෙනිය................................ඔව් දෙවියනේ.......  මම....මට අදහගන්නත් බෑ. කුබුවියා පන්තියෙන්ම දෙවනියා වෙලා.වැරදීමක්වත්ද දන්නෙත් නෑ.
මම ඉස්සරහට ගියා නෙවේ යැවුනා.කකුල් දෙකත් පන නෑ වගේ.හැමෝම අත්පුඩි ගහනවා.මම කොච්චර වේගෙන් ගියත් එක තැනම ඉන්නව වගේ දැනුනේ. අතරේ රැස්වීමේ ඉස්සරහ පුටුවල වාඩි වෙලා හිටපු ගුරුවරු දිහා බැලුනේ ඉබේටම වගේ.ඩීශානා මිස් වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිටලා මම දිහා බලාගෙ හිනා වෙවී අත්පුඩි ගහනවා. මට දරාගන්න බැරි තරම් සතුටක් ඒත් එක්කම ධෛර්යයක් ඇති වුනා.මම මිස් දිහා බලලා හිනාවෙල ගිහින්  ප්‍රින්සිපල් සර්ට වැඳලා රිපෝට් එක අරගෙන එන ගමන් මම දැක්කා මිස් තවමත් හිනාවෙවී ඉන්නවා හරියට මම දහම් පාසලේ තෑගි දිනාගෙන එනකොට අපේ අම්මා හිනාවෙවී ඉන්නව වගේ.

එච්චර කල් පන්තියේ පස් වෙනියත් දහ වෙනියත් අතරෙ දෝලනය වෙමින් හිටපු මම එක පාරටම දෙවෙනියා වුනේ ඩීශානා මිස්ගේ කාරුණික අවවාද නිසයි. මමත් ඇත්තටම  දක්ෂයෙක් කියලා එදා මට හිතුනා.මම ගැනම ලොකු ආඩම්බරයක් ඇති වුනා.අනිත් ගුරුවරු හොඳ නෑ කියනව නෙමෙයි.ඒත් අනිත් හැමෝටම වඩා ඩීශානා මිස් ලග පුදුමාකාර බලයක් තිබුනා කියලා මට හිතෙනවා.

නමය වසරෙන් පස්සේ ඩීශානා මිස් අපිට  විද්‍යාව උගන්වන්න ලැබුනේ නෑ.ඒත් මම එදා ගත්තු පන්නරයෙන් ඊට පස්සේ දිගටම වැඩ කලා.මහන්සි වෙලා වැඩ කලා.අපිට ගුරුවරුන් වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම උපහාරය ඒක කියලා මම තේරුම් ගත්ත.මම ලෙවෙල් පාස් වෙනකොට රිසාල්ට් කියන්න මිස් හිටියෙ නෑ. ට්‍රාන්සර් එකක් ලැබිලා ගිහින් තිබුනා.ඒට පස්සේ කවදාවත් මිස්ව දැක්කෙ නැති උනත් මගේ හිතේ තවමත් ඩීශානා මිස් හිනා වෙනවා.මට තවමත් ජීවිතේට පාර පෙන්නනවා.

කැම්පස් ආවට පස්සේ අපි යාලුවොත් එක්ක එකතු වෙලා දුර ඉස්කෝලවලට ගිහින් ලමයින්ට ඉගැන්නුවා. යන හැම වර්ක්ශොප් එකකදිම මම හිතුවෙ  මිස් වගේ ගුරුවරු වෙනුවෙන් කරන උපහාරයක් වෙන්න කියලා.
මිස්ගෙ ගෙවල් වැලිගම කියලා කිව්ව මතකයි. කොහේ හිටියත් ඩීශානා මිස් අදත් මට වගේම තවත් ළමයි දහස් ගානකට පාර කියනවා ඇති.


නුඹ දුන්නු ඔවදනින් 
අපිරිමිත සෙනෙහසින් 
ලදිමි මම පන්නරය
දකිමි අද ජීවිතය
එදා අද මෙන් හෙටත්
ණය ගැතියි අපි නුඹට
දයාබර ගුරු මව්නි
එදා මෙන් හිනහෙන්න 
තව චිරත් කාලයක්
සතුට සැනසුම සමග
පතන්නම් දිගාසිරි 
බැති සිතින් දෙපා වැඳ....

ඩීශානා අල්ගම ගුරු මෑණියනි.තවත් චිරාත් කාලයක් ළමුන් යහමග යැවීමට
 නීරෝගී  සුව ශක්තිය ලැබේවා...!!!



ප.ලි.
අසරණයා සහෝගේ ගුරුතුමියක් ගැන පෝස්ට් එක දැක්කම තමයි මෙච්චර  කල් හිත හිත හිටපු පෝස්ට් එක අදම දාන්න ඕන කියලා හිතුනේ...:)


ප.ප.ලි.

පෝස්ට් එක දිග වැඩි උනාද මන්දා....මම මේ වගේ ලියන පළවෙනි පෝස්ට් එකනෙ.හිතට එන හැම දේම ලියලා දැම්මා.ගැත්තාට අනුකම්පා කරත්වා...:D

පිදුම

7

Category :



තොසින් නොවුනත් නිබඳ - ගමන ජීවන කතර
සිතින් නොම වියැකුණිය - දිරිය බාධක අතර
ගසින් පිපි මල් කැකුළු - සුවඳ විහිදන දසත
සිතින් දැක හෙට දිනක් - දුකම වින්දා නොවෙද...

පෙරුම් පිරුවා නොවේ - සසර මතු බුදුවන්න
සුසුම් හෙළුවා සහක් - නුඹ අපිට නොදැනෙන්න
ගිමන් හැරීය නැතත් - ගත විඩා දුරලන්න
පැතුම් පැතුවා දිනෙක - අපේ ලොව දිනවන්න...

සුළං රොද පවා විත් - දෑතේ කරගැට වලට
රිදුම් දෙන බව දනිමි - නොකීවත් නුඹ අපට
සිතින් විඳි දුක වුවත් - එයින් සැනහී නිබඳ
පතන ලොව තනමි මම - පුදන්නෙමි නුඹ නමට...





.