ආදරණිය ගුරුතුමිය

24

Category :



ඔන්න ඉතින් කුබුවියා ඉස්සෙල්ලෝම ඉස්කෝලෙකට ඇතුල් උනේ ගමේ තියෙන් කණිටු විදුහලට.ඒක ගොඩාක් හොඳයි.මිස්ලා සර්ලා හැමෝම මට ආදරේයි.මම හැමදාම පන්තියේ පළවෙනියා.. JJ ඉතින් අපේ අම්මටයි තාත්තටයි ඕන උනා මාව කිට්ටුව තිබුනු ටිකක් ලොකු ඉස්කෝලෙකට දාන්න.ඉතින්  ඒක නිසා හතර වසරේදි මම ගියා අලුත් ඉස්කෝලෙට.දිගටම පංතියේ පළවෙනියා වෙවී හිටපු මට ඊට පස්සේ ටිකක් පල්ලම් බහින්න සිද්ධ වුනා. L

ඉගෙන ගන්න ටිකක් දක්ෂ ළමයෙක් විදියට ගුරුවරු මාව ඇදින්නුවත් මට ඉගෙන ගන්න මහා ලොකු වුවමනාවක් තිබුනෙම නෑ.ඉතින් පාඩම් වැඩයි ජල්තරස් වැඩයි හැමදේම අතරේ ටිකෙන් ටික කාලය ගෙවිලා ගියා.මම ගණන් වලට ටිකක් ආස උනත්  විද්‍යාව නම් දිරෙව්වේම නැති තරම්.ඒක එපා වෙලා තිබුනේ.ඔන්න ඔය අතරේදි තමයි ඩීශානා අල්ගම මිස් අපේ ඉස්කෝලෙට ආවෙ.මිස් තමයි නමය වසරෙදි අපිට  විද්‍යාව උගන්වන්න දාලා තිබුනේ.

ඩීශානා මිස් උගන්වන විදිය ගොඩක් වෙනස්.ගොඩක් මහන්සි වෙලා උගන්වනවා.පන්තියේ එක ළමයෙකුට හරි තේරෙන්නේ නෑ කියලා හිතුනොත් ආයේ මුල ඉඳලා හරි පාඩම කරනව. වගේ කැප කිරීමක් කලේ.කවදාවත් කිසිම ළමයෙකුට ගහනව හරි බනිනව හරි මම දැකලා නෑ.ඒත් වෙන පීරියඩ් වල කරන්න තියෙන හැම ජල්තරස් වැඩක්ම කරන අපේ එවුන්( මමද ඇතුලුව :)  ) කවදාවත් මිස්ගේ පීරියඩ් එකේදි පිස්සු කෙළියෙ නෑ.

ඒකට හේතුවක් තිබුනා.ඩීශානා මිස් උගන්වන්න ආපු මුල් දවසක මිස් පන්තියෙ උගන්වද්දි අපි මොකක් හරි වෙන වැඩක් කර කර හිටියා පාඩම අහගෙන ඉන්නේ නැතුව.එදා මිස් අපිට ගොඩාක් වෙලා කතා කලා බොක්කටම.එදා මිස් අපිට බැන්නා නම් ඒක එවෙලේම අමතක වෙන්න තිබුනා.ඒත් මිස් අපිට බැන්නේ නෑ වචනයක්වත්.ගොඩාක් හොඳින් කිව්ව"පුතේ මම මේ තරම් මහන්සි වෙලා උගන්නද්දි ඇයි ඔයාල වෙන වැඩ කරන්නේ "කියලා.මිස් කතා කරලා ඉවර වෙනකොට මිස්ගේ ඇස් වල කඳුලු පිරිලා.එදා මට මම ගැන පුදුම කලකිරීමක් ඇති උනා.මම හිතා ගත්තා මිස් උගන්වන හැම දෙයක්ම පුලුවන් තරම් හොඳින් ඉගෙන ගන්නවා කියලා. මිස් දෙන වැඩ විතරක් නෙමේ අනිත් විෂයනුත් වුවමනාවෙන් කරන්න ගත්තා.(එදායින් පස්සේ කවුරුවත් මිස්ගේ පීරියඩ් එකේදි හොඳට හිටියා.)

ඉතින් කොහොමින් කොහොම හරි වාර විභාගේත් ආවා.වෙනදට වඩා හොඳට පංතියේ වැඩ කරපු නිසා මට  විද්‍යාව පේපර් එක අමාරු උනේ නෑ,(ජීවිතේ පළමු වතාවට J ) .
පේපර් බලලා ලකුණු දීපුවාම මට තමා වැඩිම ලකුණු තිබුනේ පන්තියෙන්ම.අනූ ගානක් තිබුනා...  ඒක කියනකොට මගේ හිතේ ඇතිවෙච්ච සතුට වගේ සිය දහස් ගුණයක සතුටක් මම දැක්කා ඩීශානා මිස්ගේ ඇස් වල.පංතියේ හැමෝටම වගේ  විද්‍යාවට හොඳට ලකුණු තිබුනා.

ඉතින් වාර අවසානයේදි පංතියේ පළවෙනියා,දෙවෙනියා හා තුන්වෙනියාට  රිපෝට් එක දෙන්නේ  ප්‍රධාන රැස්වීමක් අරගෙන.හය වසරේ ඉඳලා දහ තුන වසර වෙනකම් ළමයි ඔක්කොමයි ගුරුවරු හැම දෙනාමයි එදාට රැස්වීමට එනවා.ලවුඩ්ස්පීකර්  එකෙන් නම කියවෙත්දි අනිත් ළමයි අතරින් ඉස්සරහට ගිහින්  ප්‍රින්සිපල් සර්ගේ අතින් රිපෝට් එක ගන්න ළමයි ගොඩක් ආඩම්බරෙන් තමා ආපහු පේලියට එන්නේ.

මටත් වොලිබෝල් කලාප තරඟ වලින් දිනපු එකට සහතිකයක් තියෙන නිසා ඒක ගන්න යන්න ගොඩක් නොයිවසිල්ලෙන් හිටියේ.ඔන්න ඉතින් නමය වසර E පන්තියේ  කියන්නේ අපේ පන්තියෙ තුන් වෙනියට අදාල රිපෝට් එක දෙන්න නම කිව්ව.සුපුරුදු විදියට අපේ පන්තියේ ගොඩක් දක්ෂ ගෑනු ළමයින්ගෙන් එක්කෙනෙක් ඉස්සරහට ගිහින් රිපෝට් එක අරගත්ත.

ඒට පස්සෙ දෙවෙනිය................................ඔව් දෙවියනේ.......  මම....මට අදහගන්නත් බෑ. කුබුවියා පන්තියෙන්ම දෙවනියා වෙලා.වැරදීමක්වත්ද දන්නෙත් නෑ.
මම ඉස්සරහට ගියා නෙවේ යැවුනා.කකුල් දෙකත් පන නෑ වගේ.හැමෝම අත්පුඩි ගහනවා.මම කොච්චර වේගෙන් ගියත් එක තැනම ඉන්නව වගේ දැනුනේ. අතරේ රැස්වීමේ ඉස්සරහ පුටුවල වාඩි වෙලා හිටපු ගුරුවරු දිහා බැලුනේ ඉබේටම වගේ.ඩීශානා මිස් වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිටලා මම දිහා බලාගෙ හිනා වෙවී අත්පුඩි ගහනවා. මට දරාගන්න බැරි තරම් සතුටක් ඒත් එක්කම ධෛර්යයක් ඇති වුනා.මම මිස් දිහා බලලා හිනාවෙල ගිහින්  ප්‍රින්සිපල් සර්ට වැඳලා රිපෝට් එක අරගෙන එන ගමන් මම දැක්කා මිස් තවමත් හිනාවෙවී ඉන්නවා හරියට මම දහම් පාසලේ තෑගි දිනාගෙන එනකොට අපේ අම්මා හිනාවෙවී ඉන්නව වගේ.

එච්චර කල් පන්තියේ පස් වෙනියත් දහ වෙනියත් අතරෙ දෝලනය වෙමින් හිටපු මම එක පාරටම දෙවෙනියා වුනේ ඩීශානා මිස්ගේ කාරුණික අවවාද නිසයි. මමත් ඇත්තටම  දක්ෂයෙක් කියලා එදා මට හිතුනා.මම ගැනම ලොකු ආඩම්බරයක් ඇති වුනා.අනිත් ගුරුවරු හොඳ නෑ කියනව නෙමෙයි.ඒත් අනිත් හැමෝටම වඩා ඩීශානා මිස් ලග පුදුමාකාර බලයක් තිබුනා කියලා මට හිතෙනවා.

නමය වසරෙන් පස්සේ ඩීශානා මිස් අපිට  විද්‍යාව උගන්වන්න ලැබුනේ නෑ.ඒත් මම එදා ගත්තු පන්නරයෙන් ඊට පස්සේ දිගටම වැඩ කලා.මහන්සි වෙලා වැඩ කලා.අපිට ගුරුවරුන් වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම උපහාරය ඒක කියලා මම තේරුම් ගත්ත.මම ලෙවෙල් පාස් වෙනකොට රිසාල්ට් කියන්න මිස් හිටියෙ නෑ. ට්‍රාන්සර් එකක් ලැබිලා ගිහින් තිබුනා.ඒට පස්සේ කවදාවත් මිස්ව දැක්කෙ නැති උනත් මගේ හිතේ තවමත් ඩීශානා මිස් හිනා වෙනවා.මට තවමත් ජීවිතේට පාර පෙන්නනවා.

කැම්පස් ආවට පස්සේ අපි යාලුවොත් එක්ක එකතු වෙලා දුර ඉස්කෝලවලට ගිහින් ලමයින්ට ඉගැන්නුවා. යන හැම වර්ක්ශොප් එකකදිම මම හිතුවෙ  මිස් වගේ ගුරුවරු වෙනුවෙන් කරන උපහාරයක් වෙන්න කියලා.
මිස්ගෙ ගෙවල් වැලිගම කියලා කිව්ව මතකයි. කොහේ හිටියත් ඩීශානා මිස් අදත් මට වගේම තවත් ළමයි දහස් ගානකට පාර කියනවා ඇති.


නුඹ දුන්නු ඔවදනින් 
අපිරිමිත සෙනෙහසින් 
ලදිමි මම පන්නරය
දකිමි අද ජීවිතය
එදා අද මෙන් හෙටත්
ණය ගැතියි අපි නුඹට
දයාබර ගුරු මව්නි
එදා මෙන් හිනහෙන්න 
තව චිරත් කාලයක්
සතුට සැනසුම සමග
පතන්නම් දිගාසිරි 
බැති සිතින් දෙපා වැඳ....

ඩීශානා අල්ගම ගුරු මෑණියනි.තවත් චිරාත් කාලයක් ළමුන් යහමග යැවීමට
 නීරෝගී  සුව ශක්තිය ලැබේවා...!!!



ප.ලි.
අසරණයා සහෝගේ ගුරුතුමියක් ගැන පෝස්ට් එක දැක්කම තමයි මෙච්චර  කල් හිත හිත හිටපු පෝස්ට් එක අදම දාන්න ඕන කියලා හිතුනේ...:)


ප.ප.ලි.

පෝස්ට් එක දිග වැඩි උනාද මන්දා....මම මේ වගේ ලියන පළවෙනි පෝස්ට් එකනෙ.හිතට එන හැම දේම ලියලා දැම්මා.ගැත්තාට අනුකම්පා කරත්වා...:D

24 ප්‍රතිචාර:

නුවන් said...

අනේ මටත් තියෙනව ඔය වගේ සිද්ධියක්!
අපිට ගණන් උගන්වපු මිස්,විද්‍යා පීඨ මිස් කෙනෙක්!
මිස් ඉන්නේ පොළොන්නරුවේ කියල දන්නවා!
එත් ගෙදර දන්නෑ!

Unknown said...

අපේ ඉස්කෝලෙත් හිටියා ඔය වගේම කපවිමෙන්ට් උගන්නපු සර් කෙනෙක්..ගණන් තමයි ඉගැන්නුවේ..තේරුනේ නැත්තනම් ළගට ඇවිත් කියලා දෙනවා..මේ ළගදී ඉස්කෝලෙට ගියාමත් සර්ව හම්බුනා , සර්ටත් හරි සතුටුයි , අපිව දක්කමා..
ඔය වගේ ගුරුවරුන්ට කට පුරා කියන්න පුළුවන් ගුරුවරු කියලා :))

වර්ණා said...

මගේ ඇස් වලට කදුළු ආවා.. හරිම සංවේදී.. මගේ ජිවිතේදීත් ඔය වගේ දෙවිවරු මට හමුවෙලා තියෙනවා..

KusH said...

@Nuwan Tharaka
ඔව් යාලුවා.....හිතන්නෙවත් නැති වෙලාවකදි කවදහරි ඒ මිස්ව හම්බවෙයි උඹට...එදාට මිස් ගොඩක් සතුටු වේවි....

KusH said...

@ChammA
අනිවාර්යයෙන්ම...ඒ වගේ උතුම් ගුරුවරු ලබන්න පින් කරන්න ඕන ඇති..:)

KusH said...

@වර්ණා
හ්ම්ම්ම් ...ඒ වගේ දෙවිවරු නිසා අපි අද පොළොවේ පය ගහල ඉන්නවා....:)

Ice (අයේෂා කුලතුංග) said...

ලස්සන ලියල තියෙනවා අයියේ..

KusH said...

@Ice

ගොඩක් ස්තුතියි යාලුවා...:)

අග්නි ධාරා... said...
This comment has been removed by the author.
අග්නි ධාරා... said...

මටත් ඉන්නව ඒවගේම කිසිමදාක අමතක නොවන ගුරුතුමියක්...
අද මම ජීවත්වෙලා ඉන්නත් ඒ ගුරුතුමී එක හේතුවක්....

මතකයේ හුඟක් දුරට හිත ගියා...
ඇහැට කඳුලකුත් ආව ගොඩක් වටින සංවේදී ලිපියක්....

KusH said...

@නිසපුගේ ලෝකය....
ගොඩක් ස්තුතියි යාලුවා....ඉතින් ඒ ගුරුතුමිය ආයේ මුන ගැහුනේ නැද්ද ???

අග්නි ධාරා... said...

ම්හ්.......

අවුරුදු තුනකින් විතර දැක්කෙ නැහැ...
ළඟදි හම්බවුන යාළුවෙක් කිව්වෙ ඒ මිස් රට ගියා කියල.ඒත් කවදම හරි දවසක මම ඒ මිස්ව හොයාගෙන යනව.

KusH said...

හ්ම්ම්ම්ම්....මමත් ප්‍රාර්තනා කරන්නම් ඒ මිස්ව ඔයාට ඉක්මනටම මුන ගැහෙන්න කියලා...:):)

අසරණයා said...

අපි දෙන්නගේ පාසැල් ජිවිතේ කොච්චර වෙනස්ද එදා මිස් බැන්නනම් මොන විදියට වෙනස් වෙන්න තිබුනද.

මං ගැනත් කියල තිබුනට ස්තුතියි...

KusH said...

ඇත්තටම යාලුවා ඒක තමා මටත් හිතුනේ ඔබ තුමාගේ පෝස්ට් එක කියාවද්දි...
ස්තුතියි මේ පැත්තට ආවට...:)

dinithi said...

මටත් කියන්න තියෙන්නෙ දෙමාපියො වගේ ජිවිතේ කියලා දෙන්නෙ ගුරු දෙවිවරු... හරියට ඉගෙන ගත්තද නැද්ද කියලා හිතෙනකොට අනේ ගුරුවරු කොච්චර මහන්සියක් වෙන්න ඇද්ද අපිට දැනුම පොවන්න....

KusH said...

ඒක ඇත්ත අක්කා...අපිට ඒව තේරෙන්නේ දැන් තමා.....ගොඩක් ස්තුතියි මේ පැත්තේ ඇවිත් ගියාට..:)

කවිකාරි (poetess) said...

හ්ම්ම් අපි හැමොගෙම ජීවිත එළිය කරපු දුයිශෙන්ලා කොයිතරම් නම් ඉන්නවද....,මතකයන් අලුත් උනා...පෝස්ට් එකට ලොකූ ලයික් එකක්....!! :)

KusH said...

ඒක ඇත්ත කවිකාරී....ඒ අය හැමදාම අපේ හිතේ ජීවත් වෙනවා..
ගොඩක් ස්තුතියි :))

හිතුවක්කාර කෙල්ල said...

ඔය වගේ ගුරුවරුන්ට මල් තියලා වැන්දාට කමක් නෑ.. අදහන්න වටින ගුරුවරු..පෝස්ට් එක නියමයි!! සංවේදියි!!!

KusH said...

අනිවාර්යයෙන්ම! :)

ස්තුතියි යාලුවා :)

යාත්‍රිකයා said...

ආයෙත් පාසල් කාලේ කරපුවා මතක් වුනා.(y)

යාත්‍රිකයා said...
This comment has been removed by the author.
KusH said...

ලියැවිල්ලට අවුරුදු දහයක් ආසන්න වෙද්දී ලියමි.
ඉතා අහඹු ලෙස ගුරුතුමියගේ දුරකතන අංකය අන්තර්ජාලයේදී හමුවිය.
කොරෝනා බාධක මැද සිසු දරුවන් වෙනුවෙන් ලතැවෙන එතුමියට දුරකතනයෙන් හෝ අමතන්නට වාසනාවන්ත විමී.

Post a Comment

හිතට එන ඕනම දෙයක් මෙතන කියලා යන්න.

.