යටගියාවේ මතක

0

Category :

 ඒක ආදරේද ආකර්ශණයද කියන්න මම දන්නේ නෑ. මෙච්චර මැදි වයසට ඇවිල්ලත් මට තවම ඒක තේරුම් ගන්න අමාරුයි.

ඔයා මගේ ජීවිතේ හොදම තීරනේ නොවෙන්න ඇති. නොවෙන්න තිබුනා. ඒත් මගේ ජීවිතේ හොදම මතකය ඔයා කියලා මට කියන්න වෙනවා.

සමහර විට ඒක එහෙම වෙන්නේ කවදාවත් ඔයා මගේ නොවුන නිසා වෙන්න ඇති. අයිති කරගන්න ආදරේට වඩා අත්හරින, දුරින් ඉන්න ආදරේ සුන්දරයි කියලා මම ගොඩක් තැන් වල අහලා තියෙනවා.

-------------

මුලින්ම ඔයා ගැන මගේ හිතේ අකුණක් ගැහුවේ 11 වසරෙදි. ඔයා එතකොට 10 වසරේ. ශිෂ්ය නායක උළෙලට ලෑස්ති කරන්න අපි හැමෝම ධර්මපාල ශාලාවේ මොනා හරි වැඩ කලා. කරපු වැඩ මොනාවද කියලා කිසිම දෙයක් මට මතක නෑ. ඒත් ඔයා ඇඳගෙන හිටියේ සුදුපාටට හුරු මල් වැටූනු ලස්සන රතු පාට ගවුමක් කියලා මට හොඳට මතකයි.

එදා ඉඳලා මට හැදුන පිස්සුව එසේ මෙසේ එකක් නෙමේයි. ඒක, ඔයත් තවත් ගොඩක් අයත් දන්නවා.

ඒත් ඔයා මට කැමති උනේම නෑ කියලා මට හිතෙනවා. පට්ට කෙසඟ, හරි හමන් ඇඳුමක් අඳින්නේ නැති, කිසිම පෙනුමක් නැති එකෙක්ට ඔයා කැමති නොවෙන එක අරුමයකුත් නෙමේ. හැබැයි හැම දේම එහෙම උන එක හොඳයි කියලා මට මහා ආර්ත්මාර්තකාමී සතුටකුත් එනවා.

හේතුව තමයි, ඔයාව ලං කර ගන්න නම් මම ඉහලට යන්න ඕන කියන විශ්සාවේ මට තිබුනා. ඉහලට යන්න තිබුන එකම මග ඉගනීම විතරමයි. අපේ පවුල් වල තත්යය ඔයත් හොඳටම දන්නවා.

ඉතින් මම දහම් පාසලේ, ඉස්කෝලේ, පන්සලේ ඔයාව දැක දැක පෙරුම් පිරුවා. පුලුවන් තරම් හොඳට ඉගෙන ගත්තා. 

කණා මැදිරියොන්ට, රෑ අහසට කතා කරන්න පුලුවන්නම් කියාවි, ඔයා ගැන මම කොච්චර නම් එයාලට කිව්වද කියලා. මහ රෑ පාඩම් කරන්න නිදි වරපු දවස් හැම එකකම මම හිස් අහස, තරු එක්ක ඔයා ගැන කතා කලා. පට්ට බොලඳයි. සුජීව ප්‍රසන්නාරච්චිගේ නවකතාවක් වගේ. ඒත් මට හැදුනු පිස්සුව තමයි මේ.

මේ කියපුවාටත් අමතරව මම ඔයාව දකින්න, පොඩ්ඩක් මුන බලන්න කොච්චර නම් දේවල් කලාද.සමහර ඒව ඔයත් දන්නවා.

ඒලෙව්ල් වලට දුර ගියාට පස්සේ ඔයාට හම්බ වුනු අලුත් ආදර වන්තයා ගැන මට ඇහුනම ගොඩක් දුක හිතුනා. ඒත් මම හිතුවෙම කවදා හරි ඔයා මගේ ආදරේ පිලි ගන්නවමයි කියලා. ඒ වයසේ හීන ලෝක එහෙම වෙන්න ඇති.

ඒ ලෙවෙල් වලින් පස්සේ ආයෙමත් ක්ලාස් එකක අපි හම්බ උනා. එකට ඩිස්කෂන් එකක් කරන්න සෙට් උනා. ඔයාට මතකද දන්නේ නෑ. ඒකෙදිත් අපි අනාගත ගැන අතීතය ගැන අමාරුවෙන් ඉන්ග්ලිශ් වලින් කතා කලා.

ආයේමත් ගොඩක් කාලෙකින් ඔයා එෆ්බී එකෙන් හොයා ගත්තේ මම කැම්පස් ඉන්නකොට. ෆ්‍රෙන්ඩ් රෙක්වෙස්ට් එක ඇක්සෙප්ට් කලාම මට එදා රෑ නිදාගන්න බැරි උනා.

ඊට පස්සේ මගේ හිතේ තියෙන දේවල් හැම දෙයක්ම ඔයාට කිව්ව. රෑ 2-3 හාවෙනකන් අපි නිදි මරාගෙන කතා කරපු දේවල් ඔයාට මතක ඇති. 

එක දවසක බස් එක පරක්කු වෙලා මගෙ හන්ක් එකේන් ගිහින් දැන්මා ඔයාගේ ඔෆිස් එක ලගට.සොර්‍රි, එදා ඇත්තටම ඕන උනේ මගේ පොඩි කාර් එකේ එන්න. ඒත් කාර් එක ගන්න බැරි වෙන්න වෙන වාහනයක් පාර්ක් කරලා ඒ මනුස්සයා කොහේ හරි ගිහින්)

ආයෙම දවසක ගමේ යද්දි, අපි දෙන්න මගේ පුන්චි කාර් එකේ ගියා. මම ගොඩක් කල් දැකපු හීනය හැබෑ උනේ ඒ දවසෙදි කියලා මට හිතෙන්නේ. ඒ වෙනකොටත් ඔයා මට අයිති නෑ කියලා මට හිතිලා තිබුනේ. ඒත් මගේම කාර් එකක ඔයාව වම් පැත්තේ තියාගෙන යන්න ඕන කියලා මම දැක්ක හීනෙට ඒක බාදාවක් නෙමේ.

ඔයාට මතක නම්, එදා ඔයා බහිද්දි මම අත ඇල්ලුවේ ගොඩක් සොෆ්ට් විදියට, ඔයාට යන්න ඕන තරම් නිදහස දීලා. මම දැනගත්තා ඔයා ඔයාගේම ලෝකෙකට ලගදීම යනවා කියලා.

ඒත් මම හිතුවේ, මට වචනයක් හරි කියලා යාවි කියලා. ටික දවසකින් මාව මැසෙන්ජර් බ්ලොක් කරලා, එෆ් බී එකෙන් අයින් කරලා, වෙඩින් එක ගත්තා. මට ලොකු දුකක් හිතුනේ නෑ.

මම ඔයාටවත් ඔයා මටවත් අයිති වෙලා ඉපදිලා නැතිව ඇති.

හැබැයි තවමත් ඉඳ හිටලා මම ඔයාගේ ප්‍රොෆයිල් එකට ඇවිත් බලනවා. ඔයා හොඳින් ඉන්නවා නේද කියාලා. ඔයා හස්බන්ඩ් එක්ක ලස්සන ජීවිතයක් ගත කරනවා බලලා මම සතුටිනි ඉන්නවා. 

"සැබෑ ආදරය යනු අල්ලා ගැනීම නොව අත් හැරීමමයි" කියන කියමන ඇත්ත වෙන්න ඕන. 


"ඔබ පියමන් කල සමනළ මාවත 

මට යාගන්න බැරී

ඔබ පතනා ලොව ඔබ ලබනා දින

මගෙ ලොව සතුට දකී......"






අම්මා

0

Category :

මම ගොඩක්ම ආසා කරන දෙයක් තමයි මගේ අතීතය මතක් කරන එක.ඒ කාලේ කරපු ජොලි වැඩ අළුගුත්තේරු වැඩ වලට වඩා මට මතක් වෙන්නෙ වෙනත් දේවල්.ඒවා මතක් කරනකොට මට අමුතුම ගැම්මක් එනවා ,මම මොනතරම් දුරක් ඇවිල්ලද කියලා මටම හිතෙනකොට.
ඈත හද්ද පිටිසර ගමක ඉපදුනු මම ඉස්සරම ගියේ ගමේ තියෙන පොඩි ඉස්කෝලෙට.ඒ කාලේ නම් මට කිසිම බරක් පතලක් තිබුනෙ නෑ.ඉස්කෝලෙ යන්න කියලා අනිවාර්ය අවශ්‍යතා තිබුනෙත් නැති තරම්.යන්තම් යුනිෆෝර්ම් එක තියෙනවනම් ඉස්කෝලෙ යන්න ඒ ඇති.සපත්තු තිබුනොත් දානවා,නැත්නම් රබර් සෙරෙප්පු දෙකක් දාගෙන යනවා ඒත් නැත්නම් නිකම්ම යනවා.

ඉස්කෝලේ ඇරිලා එන ගමන් ලොකු අම්මලාගෙ ඇඹුල් දොඩම් ගහෙන් දොඩම් ගෙඩි දෙක තුනක්, ගුණේ මාමලාගෙ වත්තෙන් කාබරන්කා ගෙඩි ටිකක්, පියදාස බාප්පලාගෙ වත්තෙන් ජම්බු ටිකක් හරි කඩාගෙන තමා එන්නෙ.අපි ගමේ ඉන්න හැමෝටම නෑකම කියලා තමා කතා කරන්නෙ.අන්කල් , ආන්ටි වගේ වචන කවදාවත් පාවිච්චි කරන්නෙ නෑ. ඉතින් ගමේ හැමෝම නෑදෑයෝ.මුළු ගමම අපේ මිදුල වගේ.සමහර දවසට ඉස්කෝලෙ ඇරිලා ගෙදරට එන්නෙ නැතුව කෙලින්ම යනවා වත්ත පහල වෙරළු ගහ යටට.නිල් කොට කලිසමේ සාක්කු දෙකේම වෙරලු පුරවගෙන ගස් ගද ගගහා එනවා.අම්මා කොච්චර බැන්නත් ගානක් නෑ.

මම හතර වසරට ආවම අම්මලා මාව අපේ පැත්තේ තිබුනු ලොකුම ඉස්කෝලෙට දැම්මා.ඒක මධ්‍ය මහා විද්‍යාලයක්. අළුත් ඉස්කෝලෙට ගියාම මට අමුතුම ලෝකෙකට ගියා වගේ.ඉස්සර වගේ හිතුනු හිතුනු විදියට ඉස්කෝලෙ යන්න බෑ.නිළ ඇදුම හරියට තියෙන්න ඕන.සපත්තු දාන්න අනිවාර්යයි.ගොඩක් වහින, ගං වතුර දවසට වගේ නිදහස තියෙන්වා සෙරෙප්පු දාගෙන එන්න.

මට මතක විදියට අපේ ජීවිතේ අමාරුකම් අගහිගකම් මට දැනෙන්න පටන් ගත්තේ ඔය කාලෙදි වගේ.ඒ කාලෙ ඉස්කෝලෙ යන්න බස් එකට රුපියලයි. යන්නයි එන්නයි රුපියල් දෙකක් ඕන. අක්කාට ඒ කාලේ බාගෙ ටිකට වලින් යන්න බෑ.ඉතින් එයාට රුපියල් හතරක් ඕන.නංගිටත් රුපියල් දෙකයි. ඉතින් හැමදාම උදේට අම්මා දම් පාට පුංචි පර්ස් එකෙන් කාසි හොය හොයා අපිට දෙනකම් අපි අත දික් කරගෙන ඉන්නවා.ගොඩක් දවසට අපි ඔක්කොටම දෙන්න සල්ලි නෑ.ඉස්කෝලෙට පයින් යනවනම් විනාඩි 25ක් 30ක් පයින් යන්න ඕන.ඉතින් ගොඩක් දවස්වල මමයි නංගියි යන්නේ පයින්. සමහර දවසට අක්කත් එනවා.හවසට ගිනි අව්වේ පයින් එන එක තමා අමාරුම වැඩේ.ඉතින් අපි අමාරුවෙන් හති දාගෙන පයින් එනකොට බත් පිගාන බෙදලා දෙන්න අම්මා බලාගෙන ඉන්නේ නෑ.අපිට ආදරේ නැති නිසා නෙමේයි.අම්ම තියෙන මොනව හරි දෙයක් උයලා තියලා ඉඩමට යනවා.එක්කො දලු කඩන්න.නැත්නම් නෙලන්න.මට මතක ඇති කාලේ ඉදලා අපේ අම්මගේ අතේ දබරගිල්ලයි මාපටගිල්ලයි ගොරෝසු වෙලා, කහට වලින් කළු පාට වෙලා.දලු කඩනකොට

ගිනි අව්වටවත්, අකුණු පුපුරන වැස්සටවත් බයෙන් අම්මා ඒ වැඩ අතපසු කලේ නෑ.එහෙම කලා නම් අද මෙහෙම ලියන කුබූත් මේ වෙලාවේ තේ ඉඩමක දළු කඩන කොල්ලෙක් වෙන්න ගොඩක් ඉඩ තිබුනා. 

-----
PS
ඈවුරුදු ගානකට කලින් ලියන්න පටන් අරන් ඉවර වෙච්ච නැති මේ ලියමන මේ විදියටම පබ්ලිශ් කරන්න හිතුවා... කවද හරි මම මේ ලියමනේ ඉතුරු කොටස ගොඩක් ලස්සනට ලියාවි...

හොරා පොලිස්

39

Category : ,






අවුරුද්දත් අත ලගටම ඇවිල්ලා දන්නෙම නැතුව.මීට අවුරුදු ගානකට කලින් (මතක විදියට  අවුරුදු 10කට විතර කලින් , කුබුවියා 8 වසරෙදි විතර )මුහුණ දිපු අත්දැකීමක් ගැන කියන්න හිතුනා.අත්දැකීමක් කිව්වට කරපු බලු වැඩක්.:D 


අපේ ගම ඒ කාලේ  ගොඩක් අඩුවෙන් නාගරීකරණය වෙච්ච සුන්දර ගමක්.
අවුරුදු කාලය කියන්නේ අපිට තියෙන සුන්දරම කාලේ.කොල්ලො කුරුට්ටන්ට නම් අවුරුද්ද ලබන්නේ ජනවාරි වල විතර ඉදලා. 
ඒ මොකද කිව්වොත් අපි අවුරුද්ද වෙනුවෙන් කැට ගහන්න, හෙඩ් ගහන්න පටන් ගන්නෙ ජනවාරිවල ඉදන්.:D


සාමාන්යයෙන්  ඉස්කෝලේ ඇරිලා ඇවිත් බත් එක කාපු ගමන් අපි සෙට් වෙන්නේ බෝල් ගහන්න.එහෙම නැත්නම් සමහර දාට කල්ලි ගහනවා,ජාඩි ගහහනවා.මේ හැම දෙයක්ම කරන්නේ ගමේ තියෙන ඉස්කෝලේ පිට්ටෙනියේ.කුබුවියාගෙ ජීවිතෙත් "ඇච්චා කාලෙන්" සැලකිය යුතු තරම් කොටසක් ගෙවුනේ මේ පිට්ටෙනියේ තමා.පිට්ටෙනිය තියෙන්නේ ප්‍රධාන පාර අයිනෙමයි.හැමදාම හවස් වෙනකොට කොල්ලො 20ක් 30ක් ඔතන වරදින්නෙ නෑ.

ඉතින් අවුරුදු කාලෙට අපි සෙල්ලම් කරන එව්වා හැම එකක්ම නවත්වලා කෙලින්ම සෙට් වෙන්නේ සූදුවට .සූදුව වුනාට ඉතින්  අපි සෙල්ලම් කරන්නේ රුපියලට නැත්නම් දෙකට වගේ.ටිකක් හවස් වෙද්දි ලොකු ලොකු අය ඒ කියන්නෙ අය්යලා කිට්ටු වෙනවා.එතකොට ඉතින් ඔට්ටු දාන ගාන වැඩි වෙන්න පටන් ගන්නවා.තවත් ටිකක් හවස් වෙද්දි තවත් ලොකු අය ඒ කියන්නෙ මාමලා සෙට් එකත් එනවා.  

මුල් දවස් වල ඉස්කෝලෙ පිට්ටෙනියෙම සූදුව කෙරුනට පස්සෙ පස්සේ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ විරෝධය නිසා අපිට ප්ලේස් එක මාරු කරන්න වුනා.අලුත් තැන වුනේ ඉස්කෝලේ ලඟම තියෙන බාගෙට හදලා නවත්වපු ටිකක් ලොකු කඩයක්. ඒකත් තියෙන්නේ පාර අයිනෙමයි.ඒක ඇතුලෙ ඉදලා එලියට බැහැපු ගමන් ප්‍රධාන පාර.ඉතින් සූදුවක් නිසා බොහොම පරිස්සමෙන් තමා කරන්න ඕන.පොලිස් ජීප් එක එනවද කියලත් හොද අවදානෙන් තමයි ඉන්නේ.

ජීප් එක එනවනම් දුරදිම අපිට පේනවා.ඉතින් ඒ වෙලාවට  කරන්නේ පිටිපස්සේ දොරවල් ජනෙල් වලින් පැනලා කොහේට හරි දුවන එක. ඒ වෙලාවට හොදම දේ තමා පහලට තියෙන පොඩි අඩි පාර දිගේ කෙලින්ම දුවන එක.පොලිසිය ආවත් ඔය වගේ පාරකදි අපිට වාසි වැඩියි.අතුරු පාරවල් වලින් පැනලා කොහේ හරි කැලේකට පනින්න පුලුවන නිසා.
  
ඉතින් ලොකු කට්ටිය ගේමට බැහැලා  රුපියල් 50ට 100ට පටන් අරගෙන 500ට 1000ටත් ඔට්ටු අල්ලන්න පටන් ගන්නකොට රුපියල් තුන හතරක් අතේ තියාගෙන ගේම පටන් ගත්තු අපි කැලේ.
එතකොට ඉතින් අපිට මාර මළ. ඇයි යකෝ අපි තමා ඔක්කොම පටන් ගත්තෙත් අන්තිමට අපිට කිට්ටු වෙන්නත් නෑ.ඉතින් අපේ සෙට් එක පට්ට තරහෙන් තමා ඉන්නේ.

ඉතින් ඔහොම. අපිට පැත්තකට වෙන්න වෙලා චාටර් වෙලා ඉන්න වෙලාවක හිතේ තියෙන තරහටත් එක්ක මගේ ටිකිරි මොළෙට පට්ට අයිඩියා එකක් ආවා.

 
අපේ සගයො ටිකට කිට්ටු කරලා මම හිමිහිට ප්ලෑන කිව්වා. ප්ලෑන් එක තමා හොරා පොලිස් එකක් තියන්න.හොරා පොලිස් එකක් කිව්වට ඒක නිකම්ම නිකම් සෙල්ලමක් නෙමේ.අපිට කැට ගහපු තැන අහිමි කරපු ලොකු අයගෙන් පළිගන්න ගහන ගැටයක්.

ඉතින් අපි වැඩේ පටන් ගත්තා.කණ්ඩායම් දෙකකට බෙදුනා.එක  කණ්ඬායමක් පොලිසිය. අපි හොරු.
ඉස්සෙල්ලාම පොලිස් කට්ටියව ස්ථානගත කලා .අපි දෙගොල්ලො ස්ථානගත උනේ සූදු පොළ දෙපැත්තෙන්. ඒ කියන්නේ අපේ පොලිස් සෙට් එක අපිව අල්ලන්න එන්න ඕන සූදු පොළ ඉස්සරහින්.
අපි සූදු පොළට මෙහා අර ඇත්තටම පොලිසියෙන් ආවොත්  සූදු කරන අය දුවන අඩි පාර පැත්තට වෙන්න ඉන්නෙ.

ඔන්න ඉතින් අපි ප්ලෑන් එක පටන් ගන්න හදන්නේ.චන්ඩි වගේ පටන් ගත්තට දැන් නම් පපුවත් ගැහෙනවා.කකුල් දෙකත් වෙව්ලනවා වගේ.ඇයි ඉතින් සෙල්ලම් ගේමකුත් නෙමෙයිනෙ දෙන්න යන්නේ.ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නෑ.කට්ටිය බලාගෙන ඉන්නේ මම සිග්නල් එක දෙනකම්.හිතට උපරිම  ධෛර්යය අරගෙන මම දුන්න සිග්නල් එක.
ඒත් එක්කම අපේ හොරු කට්ටියම 

“ පොලීසියෙන් එනවෝ ” 

කෑ ගහගෙන අපි අර අඩි පාර දිගේ දුවන්න ගත්තා.අර  පොලීසියෙ සෙට් එකත් සූදු පොළ ඉස්සරහින් කඩාගෙන බිදගෙන අපේ පස්සෙන් දුවන්න පටන් ගත්තා.

ඉතින් පොලිසියෙන් කියන වචනේ ඇහෙන්න විතරයි ඕන. සූදුපොළ ඉස්සරහිනුත් පැත්තෙනුත් අපි දුවන අඩි සද්දෙත් එක්ක කලබල වෙච්ච සූදූ පිටියෙ කට්ටිය ඔලුව හැරිච්ච අතේ දුවන්න ගත්තා.සමහරු අපිවත් පහු කරගෙන දුවනවා. කැලේ පෙරලගෙන ගිහින් සමහරු අත පයත් තුවාල කරගෙන.තව සමහරු අහල පහළ ගස් වලත් බඩගාලලු.

තව සමහරු කැලෙන් පැනලා ගිහිල්ලා අහල පහල ගෙවල් වල සාලේ වාඩි වෙලා ටී වී බලනවලු.ගෙවල් වල මිනිස්සු වගේ.එව්වා ආරංචි උනේ පස්සේ. :D
 කට්ටිය දුවන හැටි දැක්කම අපිට මාර ආතල්. :D :D 

හිනාව වැඩි කමට දුවගන්නත් පණ නෑ.ඒත් ඉතින් වැඩේ මාට්ටු වුනොත් අම්බානකට කන්න වෙන නිසා නවතින්නෙම නැතුව දුවලා ,කැලෑ පාරවල් වල ගිහිල්ලා කුඹුරකිනුත් ගිහිල්ලා යන්තම් ගෙදරට පැන ගත්තා.
ගිහින් සද්ද බද්ද නැතුව නාලා කියලා වෙනද වගේම හිටියා.

වෙනද වගේ ඉන්න හැදුවට ඒක ලේසි නෑ. එක එක දේවල් මතක් වෙනවා.අරුන් වැඩේ දැනගෙන අපේ ගෙදරට ආවොත් සිද්දවෙන දේ, කන්න වෙන කෑම හිතාගන්නවත් බෑ.කන්න ගත්තට කන්නත් බෑ. නිදාගන්න ගිහිනුත් එක එක විකාර හිත හිත පැය ගානක් ගිහින් තමා නින්ද ගියෙත්.

කොහොම හරි දෙය්යනේ කියලා එදා කවුරුවත් ආවේ නෑ.මුකුත් ආරංචියකුත් නෑ.අපේ එවුන්ට මොනවා වුනාද කියලවත් දැනගන්න විදියක් නෑ.(කෝල් එකක්වත් දීල බැලුවෙ නැතිද කියලා අහන්න එපා:ඒ කාලෙ ඔය මොන බම්බුවක්වත් නෑ අපේ පැත්තේ)

ඊට පහුවෙනිදා ඉස්කෝලෙදි තමා දැන ගත්තෙ ඉතුරු ටික.

අපේ දෙන්නෙක් ආතල් එක වැඩි කමට හිනා වෙවී අඩි පාරේ මග නැවතිලා.අපි කතාකරගෙන හිටියේ කෑ ගහපු ගමන් කෙලින්ම ගෙවල් වලටම දුවන්න.මේ යක්කු දෙන්නා ටිකක් දුර ගිහින් නැවතිලා.ඉතින් ටික වෙලාවක් ගිහින් පොලිසිය නෑ කියලා දැනගත්ත  ගමන් ලොකු කට්ටිය කෑගහපු උන්ව හොයන්න පටන් අරගෙන.එතකොට හිනාවෙවී ඉදපු අරුන් දෙන්නා මාට්ටු.

උන් දෙන්නා ඉතින් පුලුවන් තරම් තේරුම් කරලා කියලා.අපි හොරා පොලිස් සෙල්ලමක් කලේ කියලා. ඒත් වැඩේ වෙලා තියෙන්නේ ඒ වෙලාවෙ පිටියෙ සෙල්ලම් කර කර හිටපු රුපියල් තුන් හාරදාහක් කවුරුහරි අරගෙන පැනලා.

ඉතින් අරුන්ට හතර මළ.අපේ දෙන්නට අම්බානෙකට බැනලා බැනලා එලවලා දාලා.


ප.ලි.


එදා හවස උන් දෙන්නගෙම කන් රතුවෙලා තිබුනා කියලා නම් අපිට පස්සේ කාලෙක ආරංචි උනා.අපිට නම් අද වෙනකම්ම ඒ ගැන කිව්වෙ නෑ. :D :D 

ආදරණිය ගුරුතුමිය

24

Category :



ඔන්න ඉතින් කුබුවියා ඉස්සෙල්ලෝම ඉස්කෝලෙකට ඇතුල් උනේ ගමේ තියෙන් කණිටු විදුහලට.ඒක ගොඩාක් හොඳයි.මිස්ලා සර්ලා හැමෝම මට ආදරේයි.මම හැමදාම පන්තියේ පළවෙනියා.. JJ ඉතින් අපේ අම්මටයි තාත්තටයි ඕන උනා මාව කිට්ටුව තිබුනු ටිකක් ලොකු ඉස්කෝලෙකට දාන්න.ඉතින්  ඒක නිසා හතර වසරේදි මම ගියා අලුත් ඉස්කෝලෙට.දිගටම පංතියේ පළවෙනියා වෙවී හිටපු මට ඊට පස්සේ ටිකක් පල්ලම් බහින්න සිද්ධ වුනා. L

ඉගෙන ගන්න ටිකක් දක්ෂ ළමයෙක් විදියට ගුරුවරු මාව ඇදින්නුවත් මට ඉගෙන ගන්න මහා ලොකු වුවමනාවක් තිබුනෙම නෑ.ඉතින් පාඩම් වැඩයි ජල්තරස් වැඩයි හැමදේම අතරේ ටිකෙන් ටික කාලය ගෙවිලා ගියා.මම ගණන් වලට ටිකක් ආස උනත්  විද්‍යාව නම් දිරෙව්වේම නැති තරම්.ඒක එපා වෙලා තිබුනේ.ඔන්න ඔය අතරේදි තමයි ඩීශානා අල්ගම මිස් අපේ ඉස්කෝලෙට ආවෙ.මිස් තමයි නමය වසරෙදි අපිට  විද්‍යාව උගන්වන්න දාලා තිබුනේ.

ඩීශානා මිස් උගන්වන විදිය ගොඩක් වෙනස්.ගොඩක් මහන්සි වෙලා උගන්වනවා.පන්තියේ එක ළමයෙකුට හරි තේරෙන්නේ නෑ කියලා හිතුනොත් ආයේ මුල ඉඳලා හරි පාඩම කරනව. වගේ කැප කිරීමක් කලේ.කවදාවත් කිසිම ළමයෙකුට ගහනව හරි බනිනව හරි මම දැකලා නෑ.ඒත් වෙන පීරියඩ් වල කරන්න තියෙන හැම ජල්තරස් වැඩක්ම කරන අපේ එවුන්( මමද ඇතුලුව :)  ) කවදාවත් මිස්ගේ පීරියඩ් එකේදි පිස්සු කෙළියෙ නෑ.

ඒකට හේතුවක් තිබුනා.ඩීශානා මිස් උගන්වන්න ආපු මුල් දවසක මිස් පන්තියෙ උගන්වද්දි අපි මොකක් හරි වෙන වැඩක් කර කර හිටියා පාඩම අහගෙන ඉන්නේ නැතුව.එදා මිස් අපිට ගොඩාක් වෙලා කතා කලා බොක්කටම.එදා මිස් අපිට බැන්නා නම් ඒක එවෙලේම අමතක වෙන්න තිබුනා.ඒත් මිස් අපිට බැන්නේ නෑ වචනයක්වත්.ගොඩාක් හොඳින් කිව්ව"පුතේ මම මේ තරම් මහන්සි වෙලා උගන්නද්දි ඇයි ඔයාල වෙන වැඩ කරන්නේ "කියලා.මිස් කතා කරලා ඉවර වෙනකොට මිස්ගේ ඇස් වල කඳුලු පිරිලා.එදා මට මම ගැන පුදුම කලකිරීමක් ඇති උනා.මම හිතා ගත්තා මිස් උගන්වන හැම දෙයක්ම පුලුවන් තරම් හොඳින් ඉගෙන ගන්නවා කියලා. මිස් දෙන වැඩ විතරක් නෙමේ අනිත් විෂයනුත් වුවමනාවෙන් කරන්න ගත්තා.(එදායින් පස්සේ කවුරුවත් මිස්ගේ පීරියඩ් එකේදි හොඳට හිටියා.)

ඉතින් කොහොමින් කොහොම හරි වාර විභාගේත් ආවා.වෙනදට වඩා හොඳට පංතියේ වැඩ කරපු නිසා මට  විද්‍යාව පේපර් එක අමාරු උනේ නෑ,(ජීවිතේ පළමු වතාවට J ) .
පේපර් බලලා ලකුණු දීපුවාම මට තමා වැඩිම ලකුණු තිබුනේ පන්තියෙන්ම.අනූ ගානක් තිබුනා...  ඒක කියනකොට මගේ හිතේ ඇතිවෙච්ච සතුට වගේ සිය දහස් ගුණයක සතුටක් මම දැක්කා ඩීශානා මිස්ගේ ඇස් වල.පංතියේ හැමෝටම වගේ  විද්‍යාවට හොඳට ලකුණු තිබුනා.

ඉතින් වාර අවසානයේදි පංතියේ පළවෙනියා,දෙවෙනියා හා තුන්වෙනියාට  රිපෝට් එක දෙන්නේ  ප්‍රධාන රැස්වීමක් අරගෙන.හය වසරේ ඉඳලා දහ තුන වසර වෙනකම් ළමයි ඔක්කොමයි ගුරුවරු හැම දෙනාමයි එදාට රැස්වීමට එනවා.ලවුඩ්ස්පීකර්  එකෙන් නම කියවෙත්දි අනිත් ළමයි අතරින් ඉස්සරහට ගිහින්  ප්‍රින්සිපල් සර්ගේ අතින් රිපෝට් එක ගන්න ළමයි ගොඩක් ආඩම්බරෙන් තමා ආපහු පේලියට එන්නේ.

මටත් වොලිබෝල් කලාප තරඟ වලින් දිනපු එකට සහතිකයක් තියෙන නිසා ඒක ගන්න යන්න ගොඩක් නොයිවසිල්ලෙන් හිටියේ.ඔන්න ඉතින් නමය වසර E පන්තියේ  කියන්නේ අපේ පන්තියෙ තුන් වෙනියට අදාල රිපෝට් එක දෙන්න නම කිව්ව.සුපුරුදු විදියට අපේ පන්තියේ ගොඩක් දක්ෂ ගෑනු ළමයින්ගෙන් එක්කෙනෙක් ඉස්සරහට ගිහින් රිපෝට් එක අරගත්ත.

ඒට පස්සෙ දෙවෙනිය................................ඔව් දෙවියනේ.......  මම....මට අදහගන්නත් බෑ. කුබුවියා පන්තියෙන්ම දෙවනියා වෙලා.වැරදීමක්වත්ද දන්නෙත් නෑ.
මම ඉස්සරහට ගියා නෙවේ යැවුනා.කකුල් දෙකත් පන නෑ වගේ.හැමෝම අත්පුඩි ගහනවා.මම කොච්චර වේගෙන් ගියත් එක තැනම ඉන්නව වගේ දැනුනේ. අතරේ රැස්වීමේ ඉස්සරහ පුටුවල වාඩි වෙලා හිටපු ගුරුවරු දිහා බැලුනේ ඉබේටම වගේ.ඩීශානා මිස් වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිටලා මම දිහා බලාගෙ හිනා වෙවී අත්පුඩි ගහනවා. මට දරාගන්න බැරි තරම් සතුටක් ඒත් එක්කම ධෛර්යයක් ඇති වුනා.මම මිස් දිහා බලලා හිනාවෙල ගිහින්  ප්‍රින්සිපල් සර්ට වැඳලා රිපෝට් එක අරගෙන එන ගමන් මම දැක්කා මිස් තවමත් හිනාවෙවී ඉන්නවා හරියට මම දහම් පාසලේ තෑගි දිනාගෙන එනකොට අපේ අම්මා හිනාවෙවී ඉන්නව වගේ.

එච්චර කල් පන්තියේ පස් වෙනියත් දහ වෙනියත් අතරෙ දෝලනය වෙමින් හිටපු මම එක පාරටම දෙවෙනියා වුනේ ඩීශානා මිස්ගේ කාරුණික අවවාද නිසයි. මමත් ඇත්තටම  දක්ෂයෙක් කියලා එදා මට හිතුනා.මම ගැනම ලොකු ආඩම්බරයක් ඇති වුනා.අනිත් ගුරුවරු හොඳ නෑ කියනව නෙමෙයි.ඒත් අනිත් හැමෝටම වඩා ඩීශානා මිස් ලග පුදුමාකාර බලයක් තිබුනා කියලා මට හිතෙනවා.

නමය වසරෙන් පස්සේ ඩීශානා මිස් අපිට  විද්‍යාව උගන්වන්න ලැබුනේ නෑ.ඒත් මම එදා ගත්තු පන්නරයෙන් ඊට පස්සේ දිගටම වැඩ කලා.මහන්සි වෙලා වැඩ කලා.අපිට ගුරුවරුන් වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම උපහාරය ඒක කියලා මම තේරුම් ගත්ත.මම ලෙවෙල් පාස් වෙනකොට රිසාල්ට් කියන්න මිස් හිටියෙ නෑ. ට්‍රාන්සර් එකක් ලැබිලා ගිහින් තිබුනා.ඒට පස්සේ කවදාවත් මිස්ව දැක්කෙ නැති උනත් මගේ හිතේ තවමත් ඩීශානා මිස් හිනා වෙනවා.මට තවමත් ජීවිතේට පාර පෙන්නනවා.

කැම්පස් ආවට පස්සේ අපි යාලුවොත් එක්ක එකතු වෙලා දුර ඉස්කෝලවලට ගිහින් ලමයින්ට ඉගැන්නුවා. යන හැම වර්ක්ශොප් එකකදිම මම හිතුවෙ  මිස් වගේ ගුරුවරු වෙනුවෙන් කරන උපහාරයක් වෙන්න කියලා.
මිස්ගෙ ගෙවල් වැලිගම කියලා කිව්ව මතකයි. කොහේ හිටියත් ඩීශානා මිස් අදත් මට වගේම තවත් ළමයි දහස් ගානකට පාර කියනවා ඇති.


නුඹ දුන්නු ඔවදනින් 
අපිරිමිත සෙනෙහසින් 
ලදිමි මම පන්නරය
දකිමි අද ජීවිතය
එදා අද මෙන් හෙටත්
ණය ගැතියි අපි නුඹට
දයාබර ගුරු මව්නි
එදා මෙන් හිනහෙන්න 
තව චිරත් කාලයක්
සතුට සැනසුම සමග
පතන්නම් දිගාසිරි 
බැති සිතින් දෙපා වැඳ....

ඩීශානා අල්ගම ගුරු මෑණියනි.තවත් චිරාත් කාලයක් ළමුන් යහමග යැවීමට
 නීරෝගී  සුව ශක්තිය ලැබේවා...!!!



ප.ලි.
අසරණයා සහෝගේ ගුරුතුමියක් ගැන පෝස්ට් එක දැක්කම තමයි මෙච්චර  කල් හිත හිත හිටපු පෝස්ට් එක අදම දාන්න ඕන කියලා හිතුනේ...:)


ප.ප.ලි.

පෝස්ට් එක දිග වැඩි උනාද මන්දා....මම මේ වගේ ලියන පළවෙනි පෝස්ට් එකනෙ.හිතට එන හැම දේම ලියලා දැම්මා.ගැත්තාට අනුකම්පා කරත්වා...:D

පිදුම

7

Category :



තොසින් නොවුනත් නිබඳ - ගමන ජීවන කතර
සිතින් නොම වියැකුණිය - දිරිය බාධක අතර
ගසින් පිපි මල් කැකුළු - සුවඳ විහිදන දසත
සිතින් දැක හෙට දිනක් - දුකම වින්දා නොවෙද...

පෙරුම් පිරුවා නොවේ - සසර මතු බුදුවන්න
සුසුම් හෙළුවා සහක් - නුඹ අපිට නොදැනෙන්න
ගිමන් හැරීය නැතත් - ගත විඩා දුරලන්න
පැතුම් පැතුවා දිනෙක - අපේ ලොව දිනවන්න...

සුළං රොද පවා විත් - දෑතේ කරගැට වලට
රිදුම් දෙන බව දනිමි - නොකීවත් නුඹ අපට
සිතින් විඳි දුක වුවත් - එයින් සැනහී නිබඳ
පතන ලොව තනමි මම - පුදන්නෙමි නුඹ නමට...





Dekstop එකේ තියෙන හැම link/short cut එකක්ම එකම application එකත් එක්ක open වෙන ප්‍රශ්නය

0

Category :

බ්ලොග් එකක් පටන් ගත්තට මොනවත්ම ලියන්න බැරි උන නිසා මට හිතුනා හැමෝටම වැදගත් වෙන පොඩි පොඩි කරුණු ගැන තාකෂණික ලිපි ටිකක් ලියන්න කියලා.මේ එකේ පලවෙනි එක.

සමහර විට ඔයගොල්ලො දැනටමත් මේ ප්‍රශ්නෙට මුහුන දීල ඇති.මොන අයිකන් /ෂෝර්ට් කට් එක ඕපන් කරන්න හැදුවත් ඕපන් වෙන්නෙ එකම ඇප්ලිකේෂන් එකකින්.(නෝට් පෑඩ් ,වින්ඩෝව්ස් ප්ලේයර් වගේ )

Registry එකේ පොඩි වැඩ කෑල්ලකින් මේ අවුල ගොඩ දා ගන්න පුලුවන්.

වෙන් කතන්දර ඕනෙ නැහැනේ....අපි කතාවට බහිමු.

මුලින්ම windows key එකයි R key එකයි දෙකම එක පාරට press කරන්න.(win key + R)

දැන් Run window එක ලැබේවි

Run එකේ මේක කොටන්න.

regedit

Enter කරන්න

දැන් open වුනු window එකේ දකුනු පැත්තෙ තියෙන ලිස්ට් එකෙන් HKEY_CLASSES_ROOT කියන එක මුල තියෙන arrow එක click කරන්න.(expand කරන්න)

ඒක යටතේ තියෙන ලිස්ට් එකේ exefile කියන එක  මුල තියෙන arrow එක click කරන්න.(expand කරන්න)

දැන් ඒක යටතේ shell > open > command වෙනකන් යන්න.

දැන් දකුණු පැත්තෙ කොටසෙ තියෙන Detault key එක open කරල, මෙන්න මේක ඒකට දාන්න.

"%1" %*

OK කරන්න

දැන් වැඩේ අහවරයි.registry එක close කරල restart කරන්න.


.