අම්මා

0

Category :

මම ගොඩක්ම ආසා කරන දෙයක් තමයි මගේ අතීතය මතක් කරන එක.ඒ කාලේ කරපු ජොලි වැඩ අළුගුත්තේරු වැඩ වලට වඩා මට මතක් වෙන්නෙ වෙනත් දේවල්.ඒවා මතක් කරනකොට මට අමුතුම ගැම්මක් එනවා ,මම මොනතරම් දුරක් ඇවිල්ලද කියලා මටම හිතෙනකොට.
ඈත හද්ද පිටිසර ගමක ඉපදුනු මම ඉස්සරම ගියේ ගමේ තියෙන පොඩි ඉස්කෝලෙට.ඒ කාලේ නම් මට කිසිම බරක් පතලක් තිබුනෙ නෑ.ඉස්කෝලෙ යන්න කියලා අනිවාර්ය අවශ්‍යතා තිබුනෙත් නැති තරම්.යන්තම් යුනිෆෝර්ම් එක තියෙනවනම් ඉස්කෝලෙ යන්න ඒ ඇති.සපත්තු තිබුනොත් දානවා,නැත්නම් රබර් සෙරෙප්පු දෙකක් දාගෙන යනවා ඒත් නැත්නම් නිකම්ම යනවා.

ඉස්කෝලේ ඇරිලා එන ගමන් ලොකු අම්මලාගෙ ඇඹුල් දොඩම් ගහෙන් දොඩම් ගෙඩි දෙක තුනක්, ගුණේ මාමලාගෙ වත්තෙන් කාබරන්කා ගෙඩි ටිකක්, පියදාස බාප්පලාගෙ වත්තෙන් ජම්බු ටිකක් හරි කඩාගෙන තමා එන්නෙ.අපි ගමේ ඉන්න හැමෝටම නෑකම කියලා තමා කතා කරන්නෙ.අන්කල් , ආන්ටි වගේ වචන කවදාවත් පාවිච්චි කරන්නෙ නෑ. ඉතින් ගමේ හැමෝම නෑදෑයෝ.මුළු ගමම අපේ මිදුල වගේ.සමහර දවසට ඉස්කෝලෙ ඇරිලා ගෙදරට එන්නෙ නැතුව කෙලින්ම යනවා වත්ත පහල වෙරළු ගහ යටට.නිල් කොට කලිසමේ සාක්කු දෙකේම වෙරලු පුරවගෙන ගස් ගද ගගහා එනවා.අම්මා කොච්චර බැන්නත් ගානක් නෑ.

මම හතර වසරට ආවම අම්මලා මාව අපේ පැත්තේ තිබුනු ලොකුම ඉස්කෝලෙට දැම්මා.ඒක මධ්‍ය මහා විද්‍යාලයක්. අළුත් ඉස්කෝලෙට ගියාම මට අමුතුම ලෝකෙකට ගියා වගේ.ඉස්සර වගේ හිතුනු හිතුනු විදියට ඉස්කෝලෙ යන්න බෑ.නිළ ඇදුම හරියට තියෙන්න ඕන.සපත්තු දාන්න අනිවාර්යයි.ගොඩක් වහින, ගං වතුර දවසට වගේ නිදහස තියෙන්වා සෙරෙප්පු දාගෙන එන්න.

මට මතක විදියට අපේ ජීවිතේ අමාරුකම් අගහිගකම් මට දැනෙන්න පටන් ගත්තේ ඔය කාලෙදි වගේ.ඒ කාලෙ ඉස්කෝලෙ යන්න බස් එකට රුපියලයි. යන්නයි එන්නයි රුපියල් දෙකක් ඕන. අක්කාට ඒ කාලේ බාගෙ ටිකට වලින් යන්න බෑ.ඉතින් එයාට රුපියල් හතරක් ඕන.නංගිටත් රුපියල් දෙකයි. ඉතින් හැමදාම උදේට අම්මා දම් පාට පුංචි පර්ස් එකෙන් කාසි හොය හොයා අපිට දෙනකම් අපි අත දික් කරගෙන ඉන්නවා.ගොඩක් දවසට අපි ඔක්කොටම දෙන්න සල්ලි නෑ.ඉස්කෝලෙට පයින් යනවනම් විනාඩි 25ක් 30ක් පයින් යන්න ඕන.ඉතින් ගොඩක් දවස්වල මමයි නංගියි යන්නේ පයින්. සමහර දවසට අක්කත් එනවා.හවසට ගිනි අව්වේ පයින් එන එක තමා අමාරුම වැඩේ.ඉතින් අපි අමාරුවෙන් හති දාගෙන පයින් එනකොට බත් පිගාන බෙදලා දෙන්න අම්මා බලාගෙන ඉන්නේ නෑ.අපිට ආදරේ නැති නිසා නෙමේයි.අම්ම තියෙන මොනව හරි දෙයක් උයලා තියලා ඉඩමට යනවා.එක්කො දලු කඩන්න.නැත්නම් නෙලන්න.මට මතක ඇති කාලේ ඉදලා අපේ අම්මගේ අතේ දබරගිල්ලයි මාපටගිල්ලයි ගොරෝසු වෙලා, කහට වලින් කළු පාට වෙලා.දලු කඩනකොට

ගිනි අව්වටවත්, අකුණු පුපුරන වැස්සටවත් බයෙන් අම්මා ඒ වැඩ අතපසු කලේ නෑ.එහෙම කලා නම් අද මෙහෙම ලියන කුබූත් මේ වෙලාවේ තේ ඉඩමක දළු කඩන කොල්ලෙක් වෙන්න ගොඩක් ඉඩ තිබුනා. 

-----
PS
ඈවුරුදු ගානකට කලින් ලියන්න පටන් අරන් ඉවර වෙච්ච නැති මේ ලියමන මේ විදියටම පබ්ලිශ් කරන්න හිතුවා... කවද හරි මම මේ ලියමනේ ඉතුරු කොටස ගොඩක් ලස්සනට ලියාවි...

0 ප්‍රතිචාර:

Post a Comment

හිතට එන ඕනම දෙයක් මෙතන කියලා යන්න.

.